...

ඉතිහාසය

1966 දී ආයතනික රාමුවක් සැකසීමේ අවශ්‍යතාවය හඳුනා ගත් ශ්‍රී ලංකා රජය සංචාරක ව්‍යාපාරය සැලසුම් සහගතව හා ක්‍රමානුකූලව දියුණු කිරීමට තීරණය කළේය. ලංකා සංචාරක මණ්ඩලය, (1966 අංක 10 දරණ ලංකා සංචාරක මණ්ඩල පනත මඟින් නිර්මාණය කරන ලද) සහ ලංකා හෝටල් සංස්ථාව (1966 ලංකා හෝටල් සංස්ථා පනත මඟින් නිර්මාණය කරන ලද) පිහිටුවනු ලැබුවේ ඒ සඳහා ය.

විදේශ සංචාරක ව්‍යාපාරයේ දියුණුව තුළින් ආර්ථික දියුණුව ප්‍රවර්ධනය කිරීම සඳහා නිර්මාණය කරන ලද ලංකා සංචාරක මණ්ඩලය (CTB) යනු තීරණ ගැනීමේදී වැඩි නිදහසක් සහ මූල්‍ය කළමනාකරණයේ නම්‍යශීලී භාවයක් ලබා දෙන ව්‍යවස්ථාපිත ආයතනයකි. ලංකා සංචාරක මණ්ඩලයේ ප්‍රථම මණ්ඩලය සමන්විත වූයේ ඒ.සී.එච් ද සොයිසා මහතා, එච්. ඩබ්. ජයවර්ධන මහතා, රැල්ෆ් දැරණියගල මහතා, උපාලි සේනානායක මහතා, ආචාර්ය පී. ආර් ත්‍යාගරාජා, චන්ද්‍රා කුරේ මහතා (මුදල් අමාත්‍යාංයෙන් නාම යෝජනා ලැබ පත් කෙරිණි) යනාදීන්ගෙන් සහ පළාත් පාලන නියෝජිතයෙකු වශයෙන් පළාත් පාලන කොමසාරිස්වරයාගෙනි.

ලංකා හෝටල් සංස්ථාව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් යුත් හවුල් කොටස් සහිත සමාගමකි. එය සංචාරකයින් සඳහා නවාතැන් සහ අනෙකුත් පහසුකම් සංවර්ධනය සඳහා වූ රජයේ වාණිජ හස්තය බඳු විය.

1968 සංචාරක සංවර්ධන පනත මඟින් සංචාරක ව්‍යාපාරය සැලසුම් සහගතව හා පාලනයකින් යුතුව දියුණු කිරීම සඳහා ලංකා සංචාරක මණ්ඩලයට ව්‍යවස්ථාපිත අධිකාරි බලය ලබා දෙන ලදී. සංචාරක සංවර්ධන පනත මඟින් ලංකා සංචාරක මණ්ඩලයට සංවර්ධන කටයුතු සඳහා ඉඩම් (බදු ගෙවා) ලබා ගැනීමට ඉඩ සැලසී ඇත. මෙම පනත මඟින් මහාමාර්ග සහ දර්ශනීය ස්ථාන ආරක්‍ෂා කිරීමට හා සංචාරක හෝටල් සහ අනෙකුත් සියලුම සංචාරක සේවා ලියාපදිංචිය හා වර්ගීකරණය සඳහා බලතල ද ලංකා සංචාරක මණ්ඩලයට ලබා දී ඇත.

මණ්ඩලයේ අරමුණු පහත පරිදිය.
  • සංචාරකයන් දිරිමත් කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ සංවර්ධනය කටයුතු සිදු කිරීම

  • ප්‍රමාණවත්, කාර්යක්‍ෂම සහ ආකර්ෂණීය සංචාරක සේවාවන් දිරිමත් කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ සංවර්ධනය කිරීම

මණ්ඩලය ප්‍රධාන ක්‍රියාකාරී ප්‍රදේශ හයක් හඳුනාගෙන සංවර්ධනය කළේය.
  • සංචාරක පර්යේෂණ හා සංඛ්‍යාලේඛන

  • සංචාරක කටයුතු සැලසුම් කිරීම හා සංවර්ධනය කිරීම

  • සංචාරක අලෙවිකරණය සහ ප්‍රවර්ධනය

  • සංචාරක සංවර්ධන පනතට අනුකූලව සංචාරක පහසුකම් හා සේවා නියාමනය කිරීම.

  • දේශීය සංචාරක හා ප්‍රජා සබඳතා

  • සංචාරක අංශය තුළ ශ්‍රම බලකාය සංවර්ධනය

ලේකම් සහ නීතී කටයුතු, පරිපාලන හා කාරක මණ්ඩල, මුදල් හා ගිණුම් සහ අභ්‍යන්තර විගණන යනාදී වශයෙන් සේවා දෙපාර්තමේන්තු හතරක් පිහිටුවන ලදී. හෝටල් කර්මාන්තයේ සාර්ථක මෙහෙයුම් සඳහා පුහුණු ශ්‍රම බලකාය සැපයීම සඳහා වූ වගකීමේ කොටසක් ලෙස ලංකා හෝටල් පාසල මණ්ඩලයේ කළමනාකරණය යටතට පත් කරන ලදී.

එකල සංචාරක ව්‍යාපාරයට ලබා දුන් ගෝලීය වැදගත්කම සැලකිල්ලට ගෙන ක්‍රමානුකූලව සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා මණ්ඩලය පහත සඳහන් පියවර ගෙන තිබේ.
  • පළපුරුදු සහ ජාත්‍යන්තරව පිළිගත් සංචාරක ප්‍රවීණයෙකු වන එස්.එන්. චිබ්, සංචාරක ව්‍යාපාරයේ සෑම අංශයකම උපදේශකයෙකු වශයෙන් වසර හතරක කාලයක් සඳහා මණ්ඩලයේ සහායට යොදා ගැනීම.

  • රට තුළ සහ ඉන් පිටතට යාමට පහසුකම් සැලසීම සඳහා දේශසීමා විධි විධාන සරල හා ප්‍රමිතිගත කිරීම.

  • USAID අරමුදල් ආධාරයෙන් 1967 සිට දස අවුරුදු සංචාරක සංවර්ධන සැලැස්මක් සකස් කළේය. මෙම සඳහා මණ්ඩලය විසින් හවායි සංචාරක විශේෂඥයින්ගේ සේවාවන් ලබා ගන්නා ලදී.

  • සංචාරක සංවර්ධන කටයුතු සඳහා ඉඩම් අත්පත් කර ගැනීමට, වර්ගීකරණ කේත හඳුන්වා දීම, මිල පාලන රෙගුලාසි පැනවීම සඳහා සියළුම සංචාරක ආයතන හා සේවාවන් සඳහා ලියාපදිංචිය සහ බලපත්‍ර ලබා දීම යනාදිය සඳහා ලංකා සංචාරක මණ්ඩලය වෙත බලය පවරමින් නීති සම්පාදනය කරන ලෙස රජයට උපදෙස් දුන්නේය. 1968 අංක 14 දරණ සංචාරක සංවර්ධන පනත බලාත්මක කිරීමෙන් මෙය සිදු විය.

  • සියළුම යටිතල පහසුකම් සේවා සපයමින් පෞද්ගලික හෝටල් කිහිපයක් සංවර්ධනය කරමින් බෙන්තොට ප්‍රථම ජාතික නිවාඩු නිකේතනය පිහිටුවන ලදී.